වෙන රටකට යන්න හිතල දැනට අවුරුදු ගානක් වෙනව. ඒත් ලොකු ආර්ථික පසුබිමකින් ආවෙ නැති මට ඒ හීනය හැබෑ කර ගන්න කලින් මේ රටේ ස්ථාවරයක් හදා ගන්න ඕනෙ උනා මුලින්ම. ඉගෙන ගන්න පිටරටකට යන්න සල්ලි තිබ්බෙ නෑ එහෙම උදව් කරන්න කෙනෙක්වත් හිටියෙ නෑ. හැමෝටම ඒ පින නෑ. කොටින්ම පාසැල් කාලෙත් එකම උත්සාහය උනේ රජයේ විශ්ව විද්‍යාලයකට කොහොම හරි යන එක. මොකද රට ඇතුලෙවත් පුද්ගලික විශ්ව විද්‍යාලයකට වියදම් කරන්න පුළුවන් කමක් නෑ කියල මම දැනන් ඉඳපු නිසා.
ඉතින් මම රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් ඒකෙන් එලියට ආව දවසෙ ඉඳන් ලංකාව ඇතුලෙ ආර්ථික ස්ථාවරයකට එන්න වැඩ කරා. ඒකට තෝර ගත්තෙ වැඩ කරලම හම්බ කරන එක විතරයි බිස්නස් ගැන ආයෝජන ගැන දැනීමක් තිබ්බෙම නෑ(ඒ අඩුපාඩුව මට තාම ලොකුවට දැනෙනව ). එහෙම පුද්ගලික සමාගම් කීපයකම වැඩ කරල අන්තිමට ආර්ථිකව යම් මට්ටමකට ආව. හැබැයි එහෙම එද්දි මට වයස 30ත් පහු වෙලා. ඊට පස්සෙ ළමයි ලොකු වෙනකන් ඒ වැඩ වලට වැඩි අවධානයක් දෙන්න උනා. අන්තිමට රට යන එකට වැඩ කරන්න උනේ අවුරුදු 34දි වගේ. ඒ වෙද්දි මම ඔය රට යන එක වෙනුවෙන්ම Master එකකුත් කරල තිබ්බෙ. ඔක්කොම රෙඩි කරන් කාටවත් නොකිය (අම්ම තාත්තටවත් නොකිය ) ඇප්ලයි කරපු මුලම වගේ කොරෝන ආව. ඔක්කොම වැඩ අවුල් උනා (වයස වැඩි හින්ද ලකුණුත් අඩුයි ).
පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්දම Student දාන්න හිතුව. ඒත් ඒ වෙද්දි මගෙ නමට කිසිම දේපළක් මගෙ නමට නෑ. කාර් එක විතරයි තිබ්බෙ. ඉතින් පවුලක් විදියට යද්දි ඒක විතරක් මදි කියල හිතුන හින්ද අම්මලට මේ යන එක ගැන කියන්නම උනා. මම කැම්පස් එකෙන් එලියට ආව දවසෙ ඉඳන් කවම දාකවත් දෙමාපියන්ගෙන් සල්ලි නොඉල්ලන්න වග බලා ගත්ත කෙනෙක්. මේකෙදි තමා මුලින්ම ඒ වගේ දෙයක් ඉල්ලන්න උනේ (ඉඩමක් මගේ නමට ).රට යන අදහස හින්ද ගෙයක් හදන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ මෙහෙ. ඒ හින්ද ඉඩමක් වත් ගත්තෙ නෑ). අපි පදිංචි වෙලා උන්නෙත් වෙනම. අම්මලගෙ ගෙවල් දුර හින්ද. ඉතින් ඒ උදව්ව හිතුවටත් වඩා කැමැත්තෙන් කරල දෙන්න ඉදිරිපත් උනත් මට නොහිතපු ප්‍රශ්න ගොඩක් එන්න ගත්ත ඒකෙන් පස්සෙ. තාත්ත ගොඩක් අවුල් උනා මම රට යනව කියල ඇහුවහම. මෙහෙ ස්ථාවර ජීවිතයක් ගත කරද්දි සල්ලි නාස්ති කරන් ඇයි රට යන්නෙ අපරාදයක් ඔය අමාරුවෙ වැටෙන්න හදන්නෙ විහින්, ගෑණු කෙනා කියන දේ අහන් ඒ විදියට නටනව වගේ තමා අන්තිමට මට දොස් කියන්න ගත්තෙ.
මට ඇත්තටම තේරුම් කරන්න විදියක් දන්නෙ නෑ. මට මේ රට දාල යනවට වඩා ඕනෙ මගෙ ළමයින්ට අපි වින්ද දුක නොදෙන්න. අපි ජීවිතෙන් බාගයකටත් වඩා ගිහින් තියෙන්නෙ. ඒත් මම ඉගෙන ගන්න කාලෙ තිබ්බ ලංකාවම තමා තාමත් තියෙන්නෙ. ලෝකෙ දියුණු වෙන හින්ද ඒ අලුත් දේවල් අපේ රටටත් එන හින්ද සිද්ද උන වෙනස්කම් ඇර අනික් ඔක්කොම ඒ කාලෙ වගේම තමා. හැම අතින්ම ප්‍රශ්න. හැම කෙනෙක්ටම ඒ දෙවල් ඔළුවට බරක්. කොටින්ම මේ රටට, මිනිස්සුන්ට ඇයි මේ පත්වෙන ආණ්ඩු මෙහෙම කරන්නෙ කියන දුක හැමදාම තියෙනව. මම ඇත්තටම දේශපාලනය ගැන උනන්දු කෙනෙක් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම. ගොඩක් රජයේ මාණ්ඩලික පත්වීම් කීපයකින් දේශපාලන මැදිහත්වීම් හින්ද කැපුණ. ඒ වෙද්දි ඒ ආයතන වල වැඩකරපු මගෙ යාළුවො කිව්වෙ මචං උඹේ නම ලිස්ට් එකේ තියෙනව හැබැයි ඒක අන්තිම එක නෙවේ ඇමතිගෙ සෙට් එකක් එන්න තියෙනව ඒකෙන් මේ ලිස්ට් එකේ තියෙන නම් අයින් වෙනව ඒ හින්ද උඹ ඇමතිගෙන් ලියුමක් අරන් මෙහෙට එවපන් එතකොට උඹේ නම කැපෙන එකක් නෑ කියල. කිසිම දවසක මොනම පත්වීමකටවත් කිසිම දේකට දේශපාලුවෙක් ගාවට මම යන්නෙ නෑ කියල මම මටම දිවුරන් ජීවත් උනේ. ඉතින් මම ගියෙ නෑ එකෙක් ගාවටවත්. කිව්ව වගේම මගෙ නම කැපිල තිබ්බ. පස්සෙ තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ඇයි නම කැපුණෙ කියල අහල දාපුවාම උත්තරය තිබ්බෙ. ලංකාවෙන්ම ලකුණු අනුපිළිවෙලට ගන්නව වෙනුවට දිස්ත්‍රික්ක මට්ටමින් ගන්න තීරණය කරා කියල. මගෙ තැනවත් මම ගත්ත ලකුණුවත් නම් ලයිස්තුව වත් දෙන්න බෑ කිව්ව සංවේදී තොරතුරු කියල. මේ විදිය තාම එහෙම්මම යනව අදටත්.
ඉතින් ඇයි මෙහෙම සිස්ටම් එකකට අපි අපේ ළමයිනුත් තල්ලු කරන්නෙ අපිට යම් හැකියාවක් තියෙද්දි. ඒකට උදව් වෙන ළගම සිද්දිය උනේ අපි ළමයින්ට බේත් ගන්න යන දොස්තර කිව්ව කතාවත් එක්ක. දොස්තරගෙ දුව ඒ ලෙවෙල් කරනවලු මේ අවුරුද්දෙ, කරපු ගමන් රට යවනවලු, ඩොක්ටර්ට නවසීලන්තෙ PR තියෙනවලු. මෙහෙ වැඩ කරාට. ඒ වාසිය හින්ද වියදම සාපෙක්ෂව ගොඩක් අඩුයි ඉගෙන ගන්න ලමයෙක්ට මෙහෙන් අලුතෙන්ම යවනවට වඩා. ඒක ඇත්තටම ලොකු උදව්වක් ඒ ළමයින්ට.
ඉතින් මට මේ හැම දෙයක්ම තේරුම් කරල දෙන්න විදියක් නෑ මගෙ අම්මට තාත්තට. ඒක මගෙ ඔළුවට ලොකු බරක්. ඒත් මගෙ බලාපොරොත්තුව ඒ අයව ඉක්මනටම එහෙට ගන්න. මම කරන්නෙ ගෙවන්න බැරි පාපකර්මයක්ද කියල මට හැම වෙලේම හිතට වද දෙනව. මම අම්ම තාත්ත වෙනුවෙන් හැම වෙලේම ළග හිටිය, අවශ්‍ය හැම දේම පුළුවන් උපරිමෙන් කරා. අදටත් ඒ අය බොහොම හොඳින් ජීවත් වෙනව. ඒත් ඒ කියපු දේවල් මගෙ පපුවට පිහිපාරක්. ඒ ගැන මට තාම දුකයි. හිත හදා ගන්න බැරි තරම්...!!!
No comments:
Post a Comment